Saturday, January 5, 2019

විදුලි දුම්රිය

"කොළඹ සිට නුවර දක්වා ධාවනය වන විදුලි දුම්රියකින් පිටවන දුම ගසාගෙන යන්නේ මොන පැත්තට ද"

අහලා පුරුදු කතාවක් ද?

ඔය අපි පුංචි කාලේ අයියලා අපෙන් අහපු ප්‍රශ්නයක්. අපි ඉතින් දහ අතේ කල්පනා කරලා උත්තරයක් දුන්නාම එයාල කිව්වා, "විදුලි දුම්රියක කොහෙන් ද බං දුමක්?" කියලා.

කතාවත් හරි නේද? ඇයි බං ඕකෙ ඉඳලා සිගරට් එකක් බීලා එකෙක් දුමක් අරියොත්?

හරි හරි ඒවා අල්ලලා දාමු කෝ! මොකද ඉතින් ලංකාවේ විදුලි දුම්රිය තියෙන එකක් යැ!

විදුලි දුම්රිය කියපු ගමන් අපිට මතක් වෙන්නේ අර කෝච්චිය උඩ අටපට්ටමක් වාගේ එකක් අමුණලා එක වයර් එකක ගෑවෙන්න සෙට් කරලා තියෙන කෝච්චියක් නේ. ඇයි නෑ කියලා ද කියන්නේ? ලංකාවේ ඇඳපු ඕනම විදුලි දුම්රිය චිත්‍රයක් අරන් බලන්න කෝ ෂුවර් නැත්තන්.

හැබැයි ඉතින් එහෙම මතක් වෙන එකෙත් වැරැද්දක් නෑ. මොකද ඒකත් විදුලි දුම්රිය දුවන එක ක්‍රමයක්. ඒ ක්‍රමේට කියන්නේ Overhead lines (උච්චාරණය: ඕවහෙඩ් ලයින්ස්). එකම වෙනස, ඒක විදුලි දුම්රිය දුවන එකම ක්‍රමය නොවීමයි.

තව ප්‍රසිද්ධ ක්‍රමයක් තියෙනවා Third rail (උච්චාරණය: ත'ඩ් රේල්) කියලා. Third rail එකෙන් කරන්ට් එක ගන්නේ Contact shoe (උච්චාරණය: කන්ටැක්ට් ෂූ) එකකින්.

මේ ටික කිව්වේ මට අද මතක් උනා මම ආස කරන මරු ඉංජිනේරු වැඩක් තියෙනවා මේ විදුලි දුම්රිය පද්ධති වල.

දැන් ඩීසල් දුම්රියක් ගත්තා ම නම් දුම්රියට බලය සැපයෙන්නේ ඩීසල් එන්ජිමෙන් නේ. විදුලි දුම්රියක එහෙම නෙමෙයි. විදුලිය වෙන කොහේ හරි නිපදවලා තමයි ගෙනත් දෙන්න ඕන දුම්රියට.

හරි හරි ඉතින් පණ්ඩිත කම් කියන්න ඕනේ නෑ. සමහර විදුලි දුම්රිය වල් තියෙනවා තමා ඩීසල් එන්ජිමකුත් තියෙන. ඒවා විශේෂ ඒවා. කෝච්චි පිස්සුව තියෙනවා නම් ඔන්න ගූගල් දෙයියන්ගෙන් අහලා ඉගෙන ගන්න එකයි ඇත්තේ. මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ.

ආයේ කතාවට එමුකෝ.

රට රට වල් හරහා යන විදුලි දුම්රිය වලට ඉතින් එක එක ක්‍රමවල් වලට විදුලිය ලබා ගන්න වෙනවා. අපේ කොල්ලොත් ඉතින් සිරා ඩයල් නේ. කොහොම හරි මේ වැඩේ කරනවා.

ඔන්න එක රටක් තියෙනවා එක Third rail සිස්ටම් එකක්. ඊලඟ රට Overhead lines සිස්ටම් එකක්.

දැන් කෝච්චියක් මේ පාරේ යනකොට Third rail කෑල්ලේ දුවන්නේ Contact shoe එක දිග ඇරගෙන. ඊට පස්සේ Overhead lines කෑල්ලට ආවම අර වහල උඩ තියෙන Collector (උච්චාරණය: කලෙක්ට') එක දිග අරිනවා. හැබැයි ඉතින් අර Third rail එකට තිබ්බ Contact shoe එක මතක් කරලා අකුල ගන්න ඕනේ. නැත්තන් ඉතින් ඒක ඔය තියෙන එක එක එව්වාගේ පැටලිලා කරදර වෙනවා. සමහර වෙලාවට රේල් පාර අයිනේ හයි කරලා තියෙන උපකරණ වලටත් හානි වෙනවා.

Locomotive engineer (එන්ජින් ඩ්‍රයිවර්) ගෙ වැඩක් තමා එහෙම කරන්ට් ගන්න ලයින් එක හරියට මාරු කරන එක. හැබැයි ඉතින් සමහර වෙලාවට අපේ කොල්ලන්ට ඕක අකුලන්න අමතක වෙනවා. ආයේ ඉතින් කියන්න ඕනේ නෑ නෙ වෙන පාඩුව.

මම අර කියපු මම ආස කරන ඉංජිනේරුමය විස්මය එන්නේ මෙතෙන්ට.

අපේ කොල්ලො සරල උපක්‍රමයක් දැම්මා වැඩේ ගොඩ දාන්න.

Third rail එක ඉවර වෙලා ටික දුරක් යනකොට, ඒ කියන්නේ Overhead lines වලට මාරු වෙලා ඔක්කොම හරියට දුවන්න ගන්න හරියෙන් අපේ උන් දාලා තියෙනවා හොඳ හයිය කොන්ක්‍රීට් කෑල්ලක් හරියට අර අකුලලා නැතුව දිග ඇරන් එන Contact shoe එක තියෙන හරියට සෙට් වෙන්න.

ඉතින් ඔන්න දැන් කවුරු හරි Contact shoe අකුලන්නේ නැතුව ආවොත් හරි සරළයි. කෝච්චියට වෙන අලාභය එයාගෙ පඩියෙන් කැපෙනවා. රේල් පාරට වත් ඒකේ උපකරණ වලට වත් කිසි කරදරයක් නෑ.

අන්තිම සරළ විසඳුමක්!

ප.ලි:
ශ්‍රී ලංකාවේ නම් ඉතින් විදුලි දුම්රිය කියන්නේ සංකල්පයක් විතරයි හොඳේ!